• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා යෝජිත නව වැඩ පිළිවෙල
- පසුගිය වසර 05ක කාලය තුළ අලි - මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 375ක් හා අලි 1,177ක් සහ දේපළ හානි සිදුවීමේ අවස්ථා 5,800ක් පමණ වාර්තා වී තිබේ. වර්තමානයේ උග්‍ර ගැටලුවක්ව පවතින අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව වන අලි තර්ජන ඇති බවට අලුතින් හඳුනාගත් ප්‍රදේශ තුළ කිලෝ මීටර් 2,651ක පමණ දිගකින් යුත් විදුලි වැටක් ඉදි කිරීමටත්, මේ වන විටත් ස්ථාපිත කර ඇති කිලෝ මීටර 4,349ක පමණ දිගකින් යුත් විදුලි වැටේ අක්‍රිය ස්ථාන සම්බන්ධ කිරීම, අලි වැටවල්වල ආරක්ෂාව හා නඩත්තුව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය මානව සම්පත් හා පහසුකම් වැඩි කිරීමටත්, අලුතින් ස්ථාපිත කරනු ලබන විදුලි වැට නිසි පරිදි නඩත්තු කිරීමටත් සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම වැඩසටහන් 2018 වසරේදී ආරම්භ කර කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.