• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සම්පූර්ණ කිරීම කඩිනම් කිරීම
- ක්‍රියාන්විතයේදී දිවි පිදූ රණවිරුවන‍්ගේ ළඟම ඥාතීන් හා ආබාධිත රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා 2017 සිට 2020 දක්වා කාලය තුළ පුර්ණ නිවාස 1,950ක් හා අර්ධ නිවාස 1,700ක් ඉදි කිරීම පිණිස 'විරුසුමිතුරු' නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එහිදී නිවාස ඉදි කිරීම සඳහා වන ශ්‍රම දායකත්වය පූර්ණ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 4ක් හා අර්ධ නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ 2ක් ලෙස තක්සේරු කර එය ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සිදු කළ යුතු බවට තීරණය කරන තිබේ. පූර්ණ නිවාස ඉදි කිරීම සඳහා ආරක්ෂක අංශවල ශ්‍රමදායකත්වය ලබාගත හැකි වුවත් අර්ධ නිවාස සම්පූර්ණ කිරීමේදී එකී දායකත්වය අපේක්ෂිත මට්ටමින් ලබා ගැනීමට අපහසු වී ඇත. එබැවින් මෙම වැඩසටහන යටතේ අර්ධ නිවාස සම්පූර්ණ කිරීම කඩිනම් කිරීම සඳහා ආරක්ෂක අංශවල ශ්‍රම දායකත්වය වෙනුවට රජයේ මූල්‍ය දායකත්වය ප්‍රතිලාභීන් වෙත ලබා දීමටත්, එවැනි නිවාස 1,649ක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිසත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.