• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 1
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති කණින ලද ළිංවල ජලයේ ගුණාත්මක බව පිළිබඳ ගැටලුවට විසඳුමක් ලෙස කුලියාපිටිය නැ‍ඟෙනහිර, උඩුබද්දාව, පන්නල හා බිංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 76ක් සඳහා නළ ජලය සම්පාදනය කිරීම පිණිස බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ දිනකට පිරිපහදු නොකළ ජලය ඝන මීටර 36,500ක් පොම්ප කළ හැකි පොම්පාගාරයක් ඉදි කිරීමත්, දිනකට ඝන මීටර 34,500ක පිරිපහදු ජලය නිෂ්පාදනය කිරීමත් සිදු කෙරෙනු ඇත. මේ යටතේ බිංගිරිය ආයෝජන කලාපය සහ පන්නල, මාකඳුර, කුලියාපිටිය හා උඩුබද්දාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාමනිලධාරී කොට්ඨාස 33කට අයත් ජනතාව ප්‍රතිලාභ ලබනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා Budapest Waterworks Zrt හා Hungarian Water Cluster වෙතින් යෝජනාව සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.