• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන සැලැස්ම යටතේ වාරි කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු කෙරෙමින් පවතින දැවැන්ත ආයෝජන පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම
- මහවැලි සංවර්ධන වැඩසටහන දශක තුනක පමණ කාලයක සිට මෙරට සංවර්ධනයට විශාල දායකත්වයක් සපයනු ලබන අතර, නව රජය බලයට පත් වීමෙන් පසුවද රුපියල් බිලියන 200කට ආසන්න මූල්‍ය ආයෝජනයක් යොදවමින් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ වැඩ අවසන් වී නොතිබුණු දැවැන්ත ජලාශ යෝජනා ක්‍රමයක් වන මොරගහකන්ද සහ කළුගඟ මහා ජලාශයන්ද, මහ කිතුල, මහ කිරුළ, අලිකොට ආර, හඳපානගල, ඩයරබා, පුහුල්පොල යනාදි මධ්‍යම පරිමාණ ජලාශයන්ද, සියවසේ විශාලතම වාරි ඇළ ව්‍යාපෘතීන් ලෙස උතුරු මැද මහ ඇළ, වයඹ මහ ඇළ සහ මිණිපේ මහ ඇළ යන වාරි ව්‍යාපෘතිවලද වැඩ නිම කෙ‍ෙරමින් පවතී.
එමෙන්ම, මොරගහකන්ද විදුලි බලාගාරය, උමාඔය භූගත ජල විදුලි බලාගාරය, ජලාශ මතුපිට ස්ථාපනය කෙරෙන සූර්යතාප බලාගාර ඉදි කිරීම මඟින් ‍මෙගාවොට් 1,000ක් ඉදිරි වසර දෙක තුළ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද සැලසුම් කර තිබේ. තවද, වර්ෂා ජලය එක්රැස් කරගැනීම උදෙසා ඉදි කර ඇති පැරණි එල්ලංගා පද්ධති සිය ගණනක් පුනරුත්ථාපනය කෙරෙමින් ග්‍රාමීය වැව් 2,400ක් ඔස්සේ ගම්බිම්වලට වාරි සහ පානීය ජල අවශ්‍යතා සපයන දැවැන්ත වැඩසටහනද ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. මෙම දැවැන්ත ආයෝජන වැඩසටහන පිළිබඳව රටේ සමස්ත ප්‍රජාව දැනුම්වත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.