• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම
- කොළඹ මහා නගර ප්‍රදේශ තුළ කාර්යක්ෂම හා ඵලදායී මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ශීඝ්‍රගාමී සංක්‍රමණ පද්ධතියක් හඳුන්වා දීම බස්නාහිර කලාපීය මහා නගර ප්‍රධාන සැලසුමේ ප්‍රධාන සංරචකයකි. ඒ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අතුරින් කොළඹ කොටුව ප්‍රදේශය වෙනත් ප්‍රධාන නගර සමඟ සම්බන්ධ කරන මාර්ගය සහ බත්තරමුල්ල හා මාලඹේ ප්‍රදේශය දෙසට විහිදෙන මාර්ගය ප්‍රමුඛතා මාර්ග ලෙස හඳුනාගෙන තිබේ.
මෙම ප්‍රදේශ තුළ පවතින ඉහළ ජනඝනත්වය හේතුවෙන් එම මාර්ග කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග දෙකක් ‍ලෙස ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයෙන් අරමුදල් සහාය ඉල්ලා සිටිනු ලැබ තිබේ. ඒ අනුව, මාලඹේ සිට කොළඹ කොටුවේ පිහිටි බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කිලෝමීටර 17ක දිගකින් යුතුව නැවතුම් පොළවල් 16කින් සහ ඩිපෝවකින් සමන්විත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.