• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
- යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මහල් 05කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දෙවන අදියර ලෙස එහි දෙවන (02) මහලේ සිට පස්වන (05) මහල දක්වා ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන 1,224.6ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.