• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම
- වැඩිහිටි ජනගහනය ‍මෙන්ම තරුණ ප්‍රජාවද ගොදුරු කරගනිමින් රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රමුඛව ශ්‍රී ලංකා පොලීසිය මඟින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර අවශ්‍ය අවස්ථාවලදී ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ සහායද ලබා ගනු ලබයි. මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සාර්ථකව මැඬපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත, නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.