• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පෙරළිය - වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2018 - 2019
- මෑත වසරවල මුහුණ දීමට සිදු වූ කාලගුණ විපත් හේතුවෙන් දිවයිනපුරා යටිතල පහසුකම්වලට හානි සිදුවීම හා විවිධ හේතුවල බලපෑම නිසා සාමාන්‍ය ආර්ථික වර්ධන වේග‍ෙය් සිදු වූ අඩුවීම හේතුවෙන් බොහෝ පිරිසකට සිය ජීවනෝපාය සංවර්ධන කටයුතුවලදී යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. එබැවින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, පාසල් සනීපාරක්ෂක පහසුකම් හා ක්‍රීඩාපිටි, සතිපොළ, හරිත උයන, විදුලිබලය, ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන අලුත්වැඩියාව, නිවාස සංවර්ධනය, ඉඩම් ඔප්පු නිකුත් කිරීම සහ ව්‍යවසායකත්වය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා 'ගම්පෙරළිය' නමින් වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, යෝජිත වැඩ සටහන 2018 වර්ෂයේ තුන්වන කාර්තුවේ සිට ආරම්භ වන වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. 2018 වර්ෂය සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැගින් සංවර්ධන කටයුතු සඳහා ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා සමස්ත ආයෝජනය රුපියල් මිලියන 65,811කි. ඒ අනුව, යෝජිත 'ගම්පෙරළිය' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.