• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම
- රජයේ ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන සැලැස්මෙහි ප්‍රමුඛතම අංගයක් වන ඩිජිටල් ආර්ථිකය කරා ළඟාවීම සඳහා 'ඩිජිටල් ශ්‍රී ලංකාවක්' බිහිකිරීම හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා සේවාලාභීන්ට පුළුල් පරාස සබඳතාවක් (Broadband Connection) සලසා දීම අත්‍යවශ්‍ය සාධකයක් වශයෙන් හඳුනාගත හැකි වේ. පුළුල් පරාස සබඳතාව ව්‍යාප්ත කිරීම සඳහා වඩාත් යෝග්‍ය මාධ්‍යයක් වශයෙන් සේවාලාභීන් සිටින පරිශ්‍ර වෙත දෘෂ්‍ය තන්තු මඟින් එම සේවා ලබා දීම යෝග්‍ය වුවද, ඒ සඳහා ඉහළ පිරිවැයක් දැරිය යුතුව තිබේ. තාක්ෂණික දියුණුවත් සමඟ විදුලිබලය හා පුළුල් පරාස සේවාවන් යන සේවාවන් දෙකම, එක් යටිතල පහසුකමක් මඟින් බෙදා හැරීමේ හැකියාව පවතියි. ඒ අනුව, විදුලිය බෙදා හැරීමේ බලපත්‍රලාභීන් සහ බලපත්‍රලාභී විදුලි සංදේශ සේවා සපයන්නන් අන්‍යෝන්‍යව තම යටිතල පහසුකම් බෙදා ගැනීම මඟින් විදුලිය මෙන්ම පුළුල් පරාස සබඳතා පහසුකම්ද ඉහළ තාක්ෂණික ප්‍රමිතියකින් යුක්තව අඩු පිරිවැයක් යටතේ ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතී. මේ පිළිබඳව පරීක්ෂා කර බලා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.