• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය ආයුර්වේද ඖෂධ ආදර්ශ ගම්මාන මට්ටමින් වගාකොට ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත අලෙවි කිරීම
- නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන, ප්‍රතිලාභී පවුල්වල නිවාස ගැටලුව විසඳීම මෙන්ම ඔවුන් සවිබල ගැන්වීම තුළින් ඔවුන්ව දේශීය ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන්ද ක්‍රියාත්මක වන වැඩසටහනකි. ඒ අනුව, නිවාස ඒකක 25කින් යුක්ත ආදර්ශ ගම්මානයක් සඳහා, නිවාස සඳහා වෙන් කළ බිම් ප්‍රමාණයට අමතරව අක්කර දෙකක භූමි ප්‍රමාණයක් ප්‍රතිලාභීන්ගේ සාමූහික වගා කටයුතු සඳහා වෙන් කර ඇත. එසේම දැනට ප්‍රතිලාභී අයිතියට පත් කර ඇති ආදර්ශ ගම්මාන 77 තුළ ඖෂධ වගාව ආරම්භ කර ඇති අතර, නිම කිරීමට යෝජිත ආදර්ශ ගම්මාන 2,500 සඳහාම ඖෂධ වගාව හඳුන්වා දීම සඳහා සැලසුම් සකස් කර තිබේ. එම වැඩසටහන මඟින් ආයුර්වේද ඖෂධ ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය අවම කිරීමට මෙන්ම නිවාසලාභීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමද අපේක්ෂිතය. ඒ අනුව, ආදර්ශ ගම්මාන තුළ ආයුර්වේද ඖෂධ වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහන දියත් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.