• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යෝජනා වී ඇත. මේ මඟින් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වාණිජ ප්‍රවාහන පහසුකම් සැපයීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය සඳහාම වූ විශේෂ ප්‍රවේශ මාර්ගයක් සහිතව, නව කැලණි පාලම සිට ගාලු මුවදොර දක්වා කිලෝ මීටර 5.3ක දිගින් යුක්ත වූ කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතය. එමෙන්ම වරාය ප්‍රවේශ මාර්ගය මංතීරු හය දක්වා වැඩි කිරීමට සහ විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ පද්ධතියක් ඉදි කිරීමටද යෝජනා වී ඇත. මීට අමතරව මෙම ඉදි කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වන වරාය සතු ස්ථාන 49ක් ප්‍රතිස්ථානගත කිරීමට සහ වරාය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක මුළු ආයෝජනයක් සිදු කිරීමට රජය විසින් අපේක්ෂා කරනු ලබන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක විදේශීය අරමුදල් සහායක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.