• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
- උතුරු පළාත තුළ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන හා රැකියා අවස්ථා වැඩි කරමින් එම පළාතෙහි මත්ස්‍ය නිෂ්පාදනය තිරසරව ඉහළ නැංවීම සඳහා උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ පේදුරුතුඩුවේ හා පේසාලේහි ධීවර වරායන් දෙකක්, යාපනය මන්ඩතිව්හි නැංගුරම් පොළක් සහ යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ධීවර තොටුපළවල් 23ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ජලජ ජීවී වගා සංවර්ධනය සඳහා මුලතිව්හි මුහුදු පිපිඤ්ඤා අභිජනනාගාරයක්ද, මන්නාරමෙහි කකුළුවන් අභිජනනාගාරයක්ද යාපනයේ මුහුදු පැළෑටි පටක රෝපණ විද්‍යාගාරයක්ද ඉදි කිරීමට සැලසුම් කර තිබේ. තවද කාන්තාවන් ඇතුළුව ප්‍රාදේශීය ප්‍රජාවන් වෙත සහාය සැලසීම පිණිස මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 141ක් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කඩොලාන නැවත වගා කිරීම සඳහා ආධාර කිරීම, ණය පහසුකම් පිළිබඳ දැනුම්වත් කිරීම, රැකියා අවස්ථා බිහි කිරීම සඳහා ආදර්ශ හවුල් ව්‍යාපාර 03ක් පිහිටුවීම හා දිගුකාලීන ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාව සඳහා මනෝ-සාමාජයීය සහාය සැපයීම ආදී කටයුතු සිදු කෙරෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් විදේශීය අරමුදල් සහායද සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 201.2ක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 174ක විදේශීය අරමුදල් සහාය ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.