• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල මූලාශ්‍රයන්හි ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය
- කෘෂිකාර්මික කටයුතුවලදී පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය බහුලව භාවිත කිරීම හේතුවෙන් ජල මූලාශ්‍රවල තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පහත වැටී ඇති අතර, එම තත්ත්වය මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත. එසේම දැනට ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දක්නට ලැබෙන හේතුව පැහැදිලිව හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහාද පානීය ජලයෙහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වන ගැටලු හේතු වී ඇතැයි කරුණු ඉදිරිපත් වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ජල මූලාශ්‍රයන්හි තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම මඟින් ජල දූෂණය සඳහා හේතුවන සාධක හඳුනා ගැනීමේත් ඒ තත්ත්වයන්ට පිළියම් යෙදීමේත් සහ ඉන් සිදුවන බලපෑම් පිළිබඳ පාසල් ළමුන් හා මහජනතාව දැනුම්වත් කිරීමේත් අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා 'රට අභ්‍යන්තර ජල මූලාශ්‍රයන්හි ජලයේ ගුණාත්මක තත්ත්වය පසු විපරම් කිරීමේ ව්‍යාපෘතිය' 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.