• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
- ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් 2/3ක පමණ ප්‍රමාණයක් උතුරු හා නැ‍ඟෙනහිර ප්‍රදේශයන්ට අයත් වන අතර, එම ප්‍රදේශවල ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රධාන කර්මාන්තයක් ලෙස ධීවර කර්මාන්තය හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව එම ප්‍රදේශවල ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඇතුළුව සමස්ත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 158ක මූල්‍යාධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. ඒ යටතේ පේදුරුතුඩුවේ සහ පේසාලේ ධීවර වරායන් 02ක් සහ යාපනය මණ්ඩතිව්හි නැංගුරම් පොළක්ද ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එසේම යාපනය හා මන්නාරම දිස්ත්‍රික්ක තුළ ධීවර තොටුපොළවල් 08 බැගින්ද, මුලතිව් දිස්ත්‍රික්කය තුළ ධීවර තොටුපොළවල් 06ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ධීවර තොටුපොළවල් 03ක් ද වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ධීවර වරායන්, නැංගුරම් පොළවල් සහ තොටුපොළවල් ඉදි කිරීම හා සංවර්ධනය කිරීම, ජලජීවී වගා සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය යන ප්‍රධාන සංරචක තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා උපදේශක සමාගම් තෝරාගැනීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.