• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල්වල PET CT ස්කෑන් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා සයික්ලොට්‍රෝන (CYCLOTRON) යන්ත්‍රයක් ස්ථාපිත කිරීම
- මිනිස් සිරුරේ පටක හා ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරිත්වය හෙළිදරව් කරගැනීමට PET CT ස්කෑන් යන්ත්‍ර මඟින් පරීක්ෂණ සිදු කෙරෙන අතර, එවැනි පරීක්ෂණ සඳහා FDG 18 නමැති විකිරණශීලි ඖෂධයක් යොදා ගනු ලබයි. මෙම විකීරණශීලි ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා සයික්ලොට්‍රෝන (CYCLOTRON) යන්ත්‍රයක් අවශ්‍ය වේ. පිළිකා ආශ්‍රිත වර්ධනයන් හා සමනය වීම් නිරීක්ෂණය කිරීමට සහ පිළිකා රෝගීන් හට නිවැරදි ප්‍රතිකාර ලබා දීම වැනි කාර්යයන් සඳහා PET CT ස්කෑන් යන්ත්‍රයක සේවය අත්‍යවශ්‍ය වේ. දැනට ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික රෝහලකට අයත් එක් PET CT ස්කෑන් යන්ත්‍රයක් පමණක් ක්‍රියාත්මක වන අතර, එමඟින් පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා රුපියල් 150,000/-ක් පමණ අය කරන අතර, ඒ සඳහා භාවිත කරන FDG 18 විකිරණශීලි ඖෂධය සඳහාද ඉතා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. ශ්‍රී ලංකා ජාතික රෝහලේ PET CT ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපිත කර ඇති අතර, ඉදිරියේදී එවැනි යන්ත්‍රයක් මහරගම අපේක්ෂා රෝහලේද ස්ථාපිත කෙරෙනු ඇත. එම යන්ත්‍ර සඳහාද FDG 18 විකිරණශීලි ඖෂධය ඉදිරියේදී අවශ්‍ය වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇති PET CT ස්කෑන් යන්ත්‍ර සාර්ථකව හා කාර්යක්ෂම ලෙස භාවිතයට ගැනීමට නම් මෙරට තුළ සයික්ලොට්‍රෝන යන්ත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙයට පිළියමක් වශයෙන් නිශ්චිත කාලසීමාවක් සඳහා මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹීමට යටත්ව, ශ්‍රී ලංකාව තුළ සයික්ලොට්‍රෝන (CYCLOTRON) යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් M/s.Access International (Pvt) Ltd. ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම යෝජනාවේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන, එකී ව්‍යාපෘති යෝජනාව ඇගයීමට ලක් කිරීමට හා ඒ පිළිබඳ සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.