• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ නැංවීම
- වියළි කලාපයේ ගොවීන් අතර ජනප්‍රිය ලොකු ළූණු වගාව 2014 වසර වන විට හෙක්ටයාර 7,000ක් පමණ භූමිභාගයක් පුරා පැතිර තිබුණද වෙළඳපොළ මිල වෙනස්වීම සහ කාලගුණික බලපෑම් හේතුවෙන් 2017 වර්ෂය වන විට එම ප්‍රමාණය හෙක්ටයාර 2,000ක් දක්වා පමණ පහත වැටී තිබේ. කෙසේවුවද, මේ වන විට ලොකු ළූණු බීජ අලෙවි කරගත නොහැකි වීම, ලොකු ළූණු ගොවියා වගා කටයුතුවලින් ඉවත්වීම වැළැක්වීම සහ දේශීය බීජ නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම යන කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, බීජ නිෂ්පාදකයින් සතුව ඇති දේශීය ලොකු ළූණු බීජ තොගවලින් කිලෝග්‍රෑම් 5,000ක් මිල දී ගෙන 2018 යල කන්නයේදී හෙක්ටයාර 1,000ක අලුතින් වගා කිරීමටත්, තවත් බීජ කිලෝග්‍රෑම් 2,000ක් රජය විසින් මිල දී ගෙන, ඊළඟ කන්නයේ බීජ අවශ්‍යතාව වෙනුවෙන් ගබඩා කර තබා ගැනීමටත්, මෙරට නිපදවනු ලබන ලොකු ළූණු කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 70/- සිට රුපියල් 80/- දක්වා මිලක් ලැබෙන පරිදි අලෙවියට මැදිහත් වීමටත්, ඒ සඳහා ඉඩ සැලසෙන පරිදි ආනයන බදු සංශෝධනය කිරීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.