• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා 'සෞඛ්‍යය' අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීම
- ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් 75%ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව නවතම සංඛ්‍යා ලේඛන අනුව පෙනී ගොස් ඇත. තවද, මුළු ජනගහනයෙන් 72.5%ක් පමණ එළවළු හා පලතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත්, කාන්තාවන්ගෙන් 44%ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදෙන බවත් හෙළි වී ඇත. මෙම තත්ත්වය මඟහරවා ගනිමින් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ගත කිරීම සඳහා සෞඛ්‍යය පිළිබඳ මනා දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවද, වර්තමාන පාසල් විෂය නිර්දේශය තුළ හය(6) වසර සිට නවය (9) වසර දක්වා පමණක් 'සෞඛ්‍ය විෂය' අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වෙන අතර, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා එම විෂය අනිවාර්ය නොවේ.

ඒ අනුව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස 'සෞඛ්‍ය විෂය' හඳුන්වා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවද 2023 වසරේදී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂයමාලා සංශෝධනයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය දක්වා 'සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය' යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති යෝජනාවද සැලකිල්ලට ගනිමින්, පාසල් විෂයමාලා සංශෝධනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලධාරිත්වය දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.