• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නවීනතම වෛද්‍ය උපකරණ සැපයීම
-වර්තමානයේදී ශ්‍රී ලංකාවේ රෝගාබාධ නිසා සිදුවන මරණ සඳහා හේතුවන දෙවන ප්‍රධාන සාධකය වශයෙන් පිළිකා රෝගය හඳුනාගෙන තිබේ. රෝගය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම හේතුවෙන් ආර්ථික වශයෙන් හැකියාවක් සහිත රෝගීන් විදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලැබේ. පිළිකා රෝගය කල්තබා හඳුනාගත හැකි නම් ප්‍රතිකාර මඟින් රෝගීන්ගෙන් 1/3කට වඩා වැඩි ප්‍රමාණයකගේ රෝග වර්ධනය වළක්වා ගත හැකි වුවත් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල රෝගීන්ගෙන් 70%කගේ පමණ රෝගී තත්ත්වය හඳුනාගනු ලබන්නේ රෝගය බෙහෙවින් උත්සන්න වීමෙන් අනතුරුව බැවින් පිළිකා හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රෝග කල්තියා හඳුනාගැනීම හා රෝග නිශ්චය කිරීම සඳහා මහරගම ජාතික පිළිකා රෝහල සඳහා 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රයක්ද මහනුවර ශික්ෂණ රෝහලේ Gamma Knife Package සහ PET/CT යන්ත්‍රයක්ද මිල දී ගෙන සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ඔස්ට්‍රියාවේ Odelga Med G.m.b.H වෙතින් සවිස්තරාත්මක යෝජනාවක් කැඳවීමටත්, ඒ සඳහා අවශ්‍ය වන අරමුදල් සලසා ගැනීම පිණිස ඔස්ට්‍රියාවේ Unicredit බැංකුව සමඟ සාකච්ඡා කිරීම පිණිසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.