• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' පොලී සහනාධාර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම
- 2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ හා පෞද්ගිලක බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලාංකිකයින් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි. මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක් ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 03ක්, මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක්‍රම 16ක් යටතේ සහන සලසනු ලැබේ. ඒ අනුව, මේ වන විට 12,405ක් පමණ වන ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 30කට අධික අරමුදල් සපයනු ලැබ තිබේ. 2018 වර්ෂය සඳහා මේ යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන් කර තිබෙන අතර, එමඟින් ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන්ම එතුළින් නව රැකියා 50,000ක් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි.

මෙම වැඩසටහන තවදුරටත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ එමඟින් ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අපේක්ෂාවෙන් ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන්, රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන්ද සමඟ ඒකාබද්ධව සෑම පළාතක්ම ආවරණය වන පරිදි මාස 03කට වරක් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් '2025 දැක්ම' තේමාව යටතේ පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.