• Increase font size
  • Default font size
  • Decrease font size

2018-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
- ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදුව, ඒ සඳහා අවශ්‍ය නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස මෙම ක්ෂේත්‍රයට අදාළව කටයුතු කරන ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී.

ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ එකඟත්වය සහිතව ළමා සුරැකුම් සේවාවන් සපයන්නන් හට ජාතික වෘත්තීය පුහුණු (NVQ) මට්ටමේ වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, දැනට පවතින රජයේ ණය යෝජනා ක්‍රම හරහා මෘදු ණය පහසුකම් ලබා දීම හරහා ළමා සුරැකුම් පාඨමාලා හැදෑරීම සඳහා තරුණ පරපුර දිරිමත් කිරීම සහ පුහුණුවලත් තරුණ තරුණියන්හට දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රුපියල් මිලියන 02ක් දක්වා සහනදායි ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.