• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වරායවල් ඇතුළු වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය
- ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 30%ක් පමණ වෙරළ කලාපය ආශ්‍රිතව ජීවත් වන අතර, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රධාන ආර්ථික ක්‍රියාවලීන් රැසක් මෙම කලාපය තුළ සිදුවේ. මෙමඟින් ජනනය වන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් සමුද්‍ර පරිසරය දූෂණය වීමේ ඉහළ අවදානමක් මතු වී තිබෙන අතර, මහජන සෞඛ්‍යටද ඉන් දැඩි තර්ජනයක් එල්ල වේ. එබැවින්, ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණ කමිටුවක් පිහිටුවීමටත්, වෙරළාශ්‍රිත කලාපය දූෂණය කරන්නන්ට එරෙහිව ඩෙංගු මර්දන පනතේ, ජාතික පාරිසරික පනතේ හා සමුද්‍රීය පරිසර දූෂණ වැළැක්වීමේ පනතේ විධිවිධාන දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් යෙදීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.