• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් දරුවන් උදෙසා පිරිනමනු ලබන 'සුරක්ෂා' සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2018/2019 වසර තුළ ක්‍රියාත්මක කිරීම
2017 වසර සඳහා වන අයවැය යෝජනා අනුව, ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සුරක්ෂා' සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන යටතේ, වයස අවුරුදු 5 සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයට අයත් පාසල් යන සියලුම දරුවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කරනු ලැබ ඇති අතර, ඒ හරහා සෑම දරුවෙකුටම රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් ලබා දෙනු ලැබ තිබේ. ඒ යටතේ, රෝහල්ගත කිරීමක් සඳහා රුපියල් ලක්ෂයක් සහ බාහිර රෝගී සේවා සඳහා රුපියල් 10,000/- ක් දක්වා ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් වර්තමානයේ මෙම රක්ෂණාවරණ ක්‍රමය ක්‍රියාත්මක වේ. 2018/2019 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ.

ඒ අනුව, මෙම රක්ෂණ යෝජනා ක්‍රමය 2018/2019 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු රක්ෂණ ආයතනයක් තෝරාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ඒ සඳහා රාජ්‍ය රක්ෂණ ආයතන වෙතින් යෝජනා කැඳවීමටත්, පාසල් සිසුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දෙනු ලබන රක්ෂණ ආයතනයක් තෝරාගැනීමටත් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.