• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩනයට පත් පවුල් සඳහා ගඩොලින් හා සිමෙන්ති බදාමයෙන් බැඳි සාම්ප්‍රදායික ස්ථිර නිවාස ලබා දීමේ වැඩසටහන
- ශ්‍රී ලංකාවේ උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව අවතැන්ව සිට නැවත පදිංචි කරවන ලද අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවගේ නිවාස ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමේදී රජයේ මැදිහත්වීම යටතේ මහා පරිමාණ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා පෙරසවි තාක්ෂණය යටතේ නිවාස 65,000ක් ඉදි කිරීමට මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාව ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධය මත ක්‍රියාත්මක නොකරන ලදී. මේ සඳහා විකල්පයක් වශයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිත කරමින් ඉදි කරනු ලබන නිවාස සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ මෙන්ම දේශපාලන නියෝජිතයින්ගේද පිළිගැනීම හිමි වී තිබේ.

ඒ අනුව, උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොන්ක්‍රීට් පැනල තාක්ෂණය භාවිත කරමින්, වර්ග අඩි 650කින් යුත් ස්ථිර නිවාස 40,000ක් වසර දෙකක කාලසීමාවක් තුළ ඉදි කිරීම සඳහා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.