• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස 40,000ක් ඉදි කිරීම
- උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා ගඩොලින් හා සිමෙන්ති බදාමයෙන් බැඳි නිවාස 50,000ක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. මේ සඳහා කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති අතර, එහිදී ඉදිරිපත් වූ යෝජනාවන්ට වඩා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (Un-Habitat), එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා පිළිබඳ කාර්යාලය (UNOPS), ශ්‍රී ලංකාවේ මනුෂ්‍යත්වය සඳහා නිවහන (Habitat for Humanity Sri Lanka), සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් මෙහෙයවනු ලබන ලාභ අරමුණු කර නොගත් මානුෂීය සංවිධාන සමූහය විසින් ඉදිරිපත් කරන ලද නිවාස ඉදි කිරීම් විකල්ප 03කින් යුත් යෝජනාවලිය වඩාත් ප්‍රතිලාභ සහිත බව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.

ඒ අනුව, පළමු අදියර යටතේ, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි එවැනි නිවාස 25,000ක් ඉදි කිරීම සඳහා එම සංවිධාන සමූහය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.