• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 යල කන්නයේ සිට ජෛව විද්‍යාත්මක (කාබනික) ක්‍රම භාවිතයෙන් වී වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර සහනාධාර ක්‍රමයක් හඳුන්වාදීම
2016 යල කන්නයේ සිට ක්‍රියාත්මක කරන ලද පොහොර සහනාධාරය මුදලින් ගෙවීමේ වැඩපිළිවෙළ යටතේ ගොවීන්ට සිය වී වගාවන් සඳහා රසායනික පොහොර හෝ කාබනික පොහොර යෙදීම පිණිස අදාළ සහනාධාර මුදල යෙදවීමේ හැකියාව තිබුණි. එහෙත් 2018 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර සහන මිලකට ගොවීන් වෙත ලබා දීම මඟින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ යටතේ කාබනික පොහොර යොදා ගොවිතැන් කරන ගොවීන් වෙත සහනයක් අත් වී නොමැත.

එබැවින්, කාබනික ගොවිතැන දිරිමත් කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, එක් එක් කන්නයේදී කාබනික පොහොර භාවිත කර වගා කරනු ලබන ගොවීන් හා එලෙස වගා කෙරෙන භූමි ප්‍රමාණයන් ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් හඳුනාගෙන, අදාළ මූල්‍ය සහනාධාරය එම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට සහ එය සෑම කන්නයකදීම රසායනික පොහොර මිල වෙනස් වීම මත පදනම්ව ගැළපීමට කටයුතු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.