• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
ප්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එම ප්‍රවීණතා සහතිකයට (Certificate of Competency) අමතරව අදාළ නෞකාව ලියාපදිංචි කර ඇති රාජ්‍යය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් (Certificate of Recognition) ලබාගැනීම අවශ්‍ය වේ. එවැනි සමාන තත්ත්වයේ සහතික නිකුත් කිරීම සඳහා අදාළ රාජ්‍යයන් අතර සම්මුතියක් හෝ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබිය යුතු අතර, ශ්‍රී ලංකාව විසින් දැනටමත් විදෙස් රටවල් 32ක් සමඟ එවැනි ගිවිසුම් ඇති කර ගෙන ඇත.

මෙවැනි ගිවිසුම්වලට එළඹීම මඟින් ප්‍රවීණතා සහතික ලත් ශ්‍රී ලාංකික නාවිකයින් විශාල ප්‍රමාණයකට විදේශ නෞකාවල සේවය කිරීමේ රැකියා අවස්ථා විවර වේ. මෙම සහතිකපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමකට එළඹීමට ඕස්ට්‍රේලියානු රජය කැමැත්ත පළ කර ඇති අතර, ඒ අනුව, ඕස්ට්‍රේලියානු රජය සමඟ සමුද්‍රීය ප්‍රවීණතා සහතිකපත් පිළිගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.