• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙරට රැඳවුම් ස්ථාන නිරීක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතුකුරුස සංගමය (ICRC) සමඟ නව ගිවිසුමකට එළඹීම
ජාත්‍යන්තර රතුකුරුස සංගමය 1989 වර්ෂයේ පටන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව පවතින අතර, අදාළ සියලුම රජයේ ආයතන සමඟ වෘත්තීය මට්ටමින් විශිෂ්ට සබඳතා පවත්වා ගෙන යනු ලැබේ. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජනය යටතේ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල හා රැඳවුම් ස්ථානවල රඳවා සිටින පුද්ගලයින් බැලීමට යාමට එම සංගමය වෙත අවස්ථාව සලසා දී තිබේ. සියලුම රැඳවූවන්ට මානුෂික ආකාරයෙන් සලකනු ලබන බව තහවුරු කිරීම එම සංගමය විසින් සිදු කරනු ලබන අතර, අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ බලධාරින් දැනුම්වත් කරනු ලැබේ. යුද ගැටුම් අවසාන වීමෙන් පසු ඇති වී තිබෙන වාතාවරණය තුළ, ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන රැඳවුම් ස්ථාන නිරීක්ෂණ කටයුතු හා සංචාර සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළඹීමට එම සංගමය විසින් යෝජනා කරනු ලැ‍බ තිබේ. ශ්‍රී ලංකාවේ රැඳවුම් ස්ථානවල තත්ත්වය හා රැඳවූවන්ට සලකනු ලබන ආකාරය වැඩිදියුණු කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීමේදී ජාත්‍යන්තර රතුකුරුස සංගමය සතු පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂඥභාවය ශ්‍රී ලංකාවට ලබාගැනීම ඉතා වැදගත් වේ. ඒ අනුව, ස්වකීය නිදහස අහිමි වූ පුද්ගලයන්ට යහපත උදා කිරීම සඳහා වූ සහයෝගිතාව සහ මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංගමය (ICRC) සමඟ වන යෝජිත ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය අමාත්‍යාංශය විසින් අත්සන් තැබීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.