• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාමලාන් උත්සව සමයේ මුස්ලිම් බැතිමතුන් සඳහා බෙදා හැරීමට අවශ්‍ය රට ඉඳි මිල දී ගැනීම
- රාමලාන් උපවාසය අත්හැරීම සඳහා රට ඉඳි භාවිත කිරීම ඉස්ලාම් බැතිමතුන් විසින් අනුගමනය කරනු ලබන ආගමික සිරිතක් වේ. එබැවින් රාමලාන් කාලසීමාව තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය රට ඉඳි අවශ්‍යතාව සවුදි අරාබි රජය විසින් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීම සාමාන්‍යයෙන් සිදු වේ. එහෙත් මෙම වසරේදී එම රජය විසින් ශ්‍රී ලංකාව වෙත රට ඉඳි ප්‍රදානය කිරීම සිදු කරනු ලැබ නොමැති අතර, පෞද්ගලික පරිත්‍යාගකරුවන් තිදෙනෙකු විසින් පරිත්‍යාග කරන ලද මෙට්‍රික් ටොන් 03ක රට ඉඳි තොගයක් පමණක් ලැබී තිබේ.

එබැවින්, විශේෂයෙන් ආර්ථික අපහසුතා ඇති මුස්ලිම් පවුල් කේන්ද්‍ර කරගෙන අදාළ මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාම් බැතිමතුන් අතර බෙදා හැරීම පිණිස රාමලාන් සමයේදී අවශ්‍ය වන අතිරේක රට ඉඳි මෙට්‍රික් ටොන් 250ක ප්‍රමාණය සතොස ආයතනය මඟින් මිල දී ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.