• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (South Asian Institute of Technology and Medicine - SAITM) වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගැටලු නිරාකරණය කිරීම
- දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (South Asian Institute of Technology and Medicine - SAITM) වෛද්‍ය අධ්‍යාපනයේ නිරත සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2018-03-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී. එහිදී අනුමැතිය ලබා දෙන ලද ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී මතු වී ඇති නීතිමය හා ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්, 2018-05-09 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ 2018-05-10 දින උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පවත්වනු ලැබ තිබේ.

එම සාකච්ඡාවලදී තීරණය කරනු ලැබ ඇති පරිදි, SAITM ආයතනයේ වෛද්‍ය සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2009 සැප්තැම්බර් මස 15 දින සිට 2017 මැයි මස 15 දින දක්වා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට SAITM ආයතනය යටතේ ලියාපදිංචි කර ඇති සිසුන් අතුරින්, රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්ට ඇතුළත් කරගැනීමේ මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් පමණක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම.

* එම සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් වන අවශ්‍යතා සහ කොන්දේසි නිර්ණය කිරීමට එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය වෙත බලය ලබා දීම.

* ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරනු ලබන SAITM ආයතනයේ සිසුන් අතුරින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අදාළ විභාග සමත් වන සිසුන්ට එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනැමීම.