• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් සඳහා රජයේ අනුග්‍රහය ලබා දීම
- නාගරීකරණය හා ජනගහනය ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික හා පළාත් පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමට විශාල තරගයක් පවතින අතර, රජය මැදිහත්වී අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම මඟින් මෙම සමාජ ගැටලුව නිරාකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික විෂයමාලාව ක්‍රියාත්මක කරනු ලබන රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට පහසුකම් සැලසීම තුළින් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කළ හැකි වන අතර, දෙමාපියන්ට දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී විශ්වසනීය විකල්පයක් එමඟින් ඇති කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති රජයේ අනුමත පෞද්ගලික පාසල් 80ක් දැනට පවතින අතර, මෙම සියලුම පාසල් සඳහා පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් ආදී ප්‍රතිලාභ රජය විසින් නොමිලේ ලබා දෙනු ලැබේ. ඉන් පාසල් 36කට ගුරු වැටුප් දැරීම සඳහාද රජය විසින් ආධාර ‍කරනු ලැබේ. මෙම අනුග්‍රහයන් තවත් පුළුල් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්ණායක පදනම් කරගනිමින් තෝරා ගනු ලැබ ඇති, දරුවන්ට ගුණාත්මක හා තරගකාරි අධ්‍යාපනයක් ලබා දීමට හැකියාව ඇති දැනට රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් රජයේ අනුග්‍රහය ලබන පාසල් ලෙස සලකා කටයුතු කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.