• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සමාජ සංවර්ධන ආයතනයෙහි නාමය 'ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය' ලෙස සංශෝධනය කිරීම
- සමාජ වැඩ (Social Work) සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දෙනු ලබන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය ආයතනය ජාතික සමාජ සංවර්ධන ආයතනය වේ. 1952 දී 'සමාජ වැඩ අභ්‍යාස ආයතනය' නමින් ස්ථාපිත කරන ලද එම ආයතනයේ නාමය පසුකාලීනව ලංකා සමාජ සේවා විද්‍යාලය හා ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය ලෙස වෙනස් වී ඇත. 1992 අංක 41 දරන පනත මඟින් ජාතික සමාජ සේවා සංවර්ධන ආයතනය නමින් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ස්ථාපිත කරනු ලැබ තිබේ. ඒ අනුව, සමාජ වැඩ පිළිබඳ මෙන්ම උපදේශනය, ළමා රැකවරණය, වැඩිහිටි රැකවරණය, ප්‍රජාපාදක විශෝධනය, ගැටුම් කළමනාකරණය, නායකත්වය, සන්නිවේදන කුසලතා, ව්‍යාපෘති කළමනාකරණය ආදී විවිධ විෂයයන්ට අදාළ උසස් අධ්‍යාපන පාඨමාලා එම ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්වතුන්ගේ මෙන්ම, සමාජ වැඩ පිළිබඳ විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි නියුතු බොහෝ දෙනෙකුගේ යෝජනාව වී ඇත්තේ මෙම ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන වැඩසටහන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම ප්‍රජාව අතරට ගෙනයාමේදී 'ජාතික සමාජ සංවර්ධන ආයතනය' යන නාමයට වඩා 'ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය' යන නාමය වඩාත් වෘත්තීය පිළිගැනීමක් සහිත වන බවයි. මෙම කරුණු සැලකිල්ලට ගෙන 'ජාතික සමාජ සංවර්ධන ආයතනය' යන නම වෙනස් කර 'ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය' යන නමින් මෙම ආයතනය නැවත නම් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.