• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
- බුදු දහමේ උන්නතිය උදෙසා භික්ෂූන් වහන්සේලා දැනුමින් පෝෂණය කිරීම සඳහා පිහිටුවන ලද ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වර්තමානය වන විට ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් මෙහෙවරක් ඉටු කරමින් සිටියි. භික්ෂූන්වහන්සේලා තුළ පමණක් නොව ගිහියන් අතරද බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විශාල උනන්දුව සැලකිල්ලට ගෙන, ගිහි ශිෂ්‍යන් සඳහාද පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීම ඇතුළු කාලීන වශයෙන් වැදගත් සංශෝධන කිහිපයක් ඇතුළත් කරමින් එම විශ්වවිද්‍යාලය ස්ථාපිත කරනු ලැබ ඇති 1996 අංක 26 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග හිටපු අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ඒ සම්බන්ධයෙන් වත්මන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දෙන ලද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.