• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සඳහා හදිසි ගුවන් සහ තාක්ෂණික මුදවාගැනීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය
- හදිසි අනතුරක් සිදු වූ අවස්ථාවකදී අනතුරට මුහුණ දුන් පුද්ගලයින් අනතුර සිදු වූ ස්ථානයේ සිට ආසන්නතම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ගෙන යාම පිණිස කඩිනමින් ප්‍රතිචාර දක්වන හදිසි ගුවන් හා තාක්ෂණික මුදවා ගැනීමේ පද්ධතියක් මෙරට ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. Bijorn Steiger Stiftung නම් ජර්මනියේ ස්ථාපිත ලාභ නොලබන සංවිධානයක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව අනුව හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන හෙලිකොප්ටර් 08ක් සහ තාක්ෂණික මුදවා ගැනීමේ වාහන 25ක් මඟින් අවශ්‍ය සේවාවන් සැපයීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 190ක් වන අතර, එම ණය මුදල දීර්ඝකාලීන සහන ණයක් වශයෙන් ලබා දීමට යෝජනා කර තිබේ. යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම සඳහා ව්‍යාපෘති කමිටුවක් හා සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.