• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු අංශයේ සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවීම
- පවුල් 220,000කට අධික සංඛ්‍යාවක් මෙරට වතුකරයේ පදිංචිව සිටිති. වතුකරයේ ශ්‍රම බලකායෙන් 90%ක්ම කාන්තාවන් වන අතර, එම ප්‍රදේශවල ළමුන්ගේ සහ ගැබිනි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය රටේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව දුර්වල මට්ටමක පවතියි. එබැවින් වතු අංශයේ සෞඛ්‍ය පහසුකම් නඟා සිටුවීමට ප්‍රමුඛතාව ලබා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. දැනට වතුකරයේ වතු ඩිස්පෙන්සරි හෙවත් බෙහෙත් ශාලා 450ක් පමණ වතු කළමනාකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන අතර, මෙම බෙහෙත් ශාලා වැඩිදියුණු කිරීම මඟින් වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට වැඩපිළිවෙලක් යෙදීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, රටේ වෙනත් ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ජනතාව හා සමානව රජය විසින් සලසනු ලබන සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට වතුකර ප්‍රදේශවල ජනතාවටද ඉඩ සලසමින් වතු සෞඛ්‍ය පද්ධතිය රජයේ සෞඛ්‍ය පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමටත්, ඒ යටතේ දැනට වතු කළමනාකාරිත්වය මඟින් ක්‍රියාත්මක වන සියලුම වතු සෞඛ්‍ය ආයතන අදියර වශයෙන් රජයට පවරා ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.