• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජරට හා නැගෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අ‍වශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා අරමුදල් සලසා ගැනීම
- ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය, කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ තත්ත්වයක පවතියි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය මෙම තත්ත්වය කෙරෙහි බෙහෙවින් බලපා ඇති අතර, නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වඩාත් ගුණාත්මක ලෙස ලබා දීම රජයේ අරමුණ වේ. ඒ යටතේ, රජරට හා නැගෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අ‍වශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය පිරිවැය දැරීම සඳහා යුරෝ මිලියන 4.9ක ණය මුදලක් ලබා දීමට ඕස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, ඊට අදාළ ණය ගිවිසුමට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.