• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ මහනගර සභාව සඳහා ගිනි නි‍වීමේ වාහන/උපකරණ ලබා දීම
- ජනගහන වර්ධනය හා භූමි ප්‍රමාණයේ සීමිත භාවය හේතු කොට ගෙන විශාල මහල් ප්‍රමාණයකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණ කොළඹ නගරය හා ආසන්න ප්‍රදේශයන්හි ඉදි වෙමින් පවතියි. මෙම දේපළවල හා ඒවා භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීමේ උපකරණ හා වාහන සැපයීමට යෝජනා වී තිබේ.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් යුරෝ මිලියන 10.5ක පොළී රහිත ණය මුදලක් ලබා දීමට ඕස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව එකඟ වී තිබේ. එම ණය මුදල ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුමට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.