• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීම
ගැටුම් පැවති සමයේ ත්‍රිවිධ හමුදාව විසින් පරිහරණය කරන ලද, ආරක්ෂක කටයුතු සඳහා තවදුරටත් අවශ්‍ය නොවන, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි, පෞද්ගලික හා රජයේ ඉඩම් අක්කර 4,992.84ක් ආරක්ෂක අමාත්‍යාංශයේද එකඟතාව සහිතව මේ වන විට ඒවායේ මුල් හිමිකරුවන් වෙත නිදහස් කරනු ලැබ තිබේ. සුබසාධන මධ්‍යස්ථානවල සහ සිය මිතුරන්ගේ හා ඥාතීන්ගේ නිවෙස්වල අපහසුතා මධ්‍යයේ ජීවත් වන අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි පෞද්ගලික ඉඩම් තවත් අක්කර 522ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව එකඟ වී තිබේ.

ඒ අනුව, එම පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේදී ඒවායේ ස්ථාපනය කර ඇති හමුදා කඳවුරු වෙනත් ස්ථානවල නැවත ස්ථාපනය කිරීම සඳහා වැය වන රුපියල් මිලියන 866.71ක මුදල ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සලසා දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.