• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තත්ත්වය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය සහ අදාළ වර්ෂය තුළදී අනුගමනය කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් මුදල් නීති පනතේ විධිවිධානවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සකස් කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාවට අනුව, අහිතකර කාලගුණික තත්ත්වයන් සහ ඉන් ඇතිවූ අනිකුත් බලපෑම් මධ්‍යයේ මෙරට ආර්ථික වර්ධනය 2017 වර්ෂය තුළ 3.1%ක් දක්වා අඩු වී ඇති නමුත්, සේවා වියුක්ති අනුපාතය 4.2% දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. 2017 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක ගෙවුම් ශේෂයෙහි සමස්ත අතිරික්තයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, දළ නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 8 ඉක්මවා ඉහළ ගොස් තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන්, රජයේ බදු ආදායම වර්ධනය වීම සැලකිය යුතු ජයග්‍රහණයක් වේ. 2017 වර්ෂය වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4,065ක මට්ටම දක්වා ළඟා වී තිබේ. මෙරට ආර්ථික හා සංවර්ධන අභියෝග ජය ගැනීමේදී දිගුකාලීන දැක්මකින් යුතුව පොදු මහජන අභිවෘද්ධිය ඉලක්ක කරගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හා ප්‍රතිසංස්කරණ තිරසර ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මඟින් පෙන්වා දෙනු ලැබ තිබේ. එම වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.