• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා‍ මුහුදු ප්‍රදේශය සිතියම්ගත කිරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු කිරීමට මල්ටි බීම් එකෝ සවුන්ඩරයක් (Multi Beam Echo Sounder) මිල දී ගැනීම
ශ්‍රී ලංකාවේ නාවික සිතියම් නිර්මාණය කිරීම යටත් විජිත සමයේ සිට මේ දක්වා එක්සත් රාජධානිය විසින් සිදු කරනු ලබන අතර, එසේ නිර්මාණය කරනු ලබන සිතියම්වල අයිතිය ඔවුන් සතුවන බැවින් එම සිතියම් අලෙවි කිරීම මඟින් ඔවුන් විශාල ආදායමක් ලබා ගනී. ශ්‍රී ලංකා සමුද්‍ර තීරය හරහා ගමන් කරනු ලබන සෑම නෞකාවක්ම මෙරට මුහුදු තීරයට අදාළ මුද්‍රිත හා විද්‍යුත් සිතියම් භාවිත කිරීම සිදු කළ යුතු අතර, වාර්ෂිකව මෙරට මුහුදු තීරය හරහා ගමන් කරන විශාල සංඛ්‍යාවක් වන වෙළඳ ‍නෞකා ප්‍රමාණය සැලකීමේදී මෙම සිතියම් නිර්මාණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකාව විසින්ම සිදු කිරීමෙන් විශාල ආදායමක් රටට ඉපයිය හැකි වේ.

පුහුණු මානව සම්පත් ඇතත්, නාවික හමුදා ජල ශාස්ත්‍රීය මිනුම් අංශය සතුව නවීන තාක්ෂණික උපකරණ නොතිබීම මෙරට මුහුදු තීරය සිතියම්ගත කිරීම ශ්‍රී ලංකාව විසින්ම සිදු කිරීමේදී බාධාවක්ව පවතී. ඒ අනුව, නිවැරදි හා යාවත්කාලීන මිනුම් ක්‍රියාවලියක් මඟින් මෙරට මුහුදු ප්‍රදේශය මිනුම් කටයුතු කර සිතියම්ගත කිරීමේ අරමුණින්, මෙරට නාවුක සිතියම් නිර්මාණය කිරීම සඳහා පිහිටුවා ඇති එකම ආයතනය වන, ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ ස්ථාපනය කර ඇති ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය සඳහා මල්ටි බීම් එකෝ සවුන්ඩරයක් (Multi Beam Echo Sounder) මිල දී ගැනීමටත්, ඒ සඳහා විවෘත ජාත්‍යන්තර ලංසු කැඳවීමටත් එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ඒ සම්බන්ධයෙන් වත්මන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා විසින් ලබා දෙන ලද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.