• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම
පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම මඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් මහජනතාවට සැපයීමේදී මෙරට දුම්රිය සේවාව සංවර්ධනය කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස රජය හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකු‍ව වෙතින් ලබා ගනු ලබන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP)' යටතේ කොළඹ නගරය අනෙක් ප්‍රදේශ හා සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 'කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP)' මඟින් දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය පහත සඳහන් කුඩා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

* දැනට පවතින දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නවීන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
* දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.
* කොළඹ, මාළිගාවත්ත පාසල් පටුමඟ දුම්රිය මාර්ග පාලම පුළුල් කර නැවත ඉදි කිරීම.
* කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය හා දුම්රිය මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදි කිරීම.
* නව තාක්ෂණය පද්ධති සහ ක්‍රමවේද ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය මාර්ග තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු සංවර්ධනය කිරීම.
* රත්මලානේ දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා යන්ත්‍ර හා මැදිරි අලුත්වැඩියා කිරීමේ වැඩහලක් ලබා දීම.
* දුම්රිය මාර්ග රක්ෂිතයන් තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස යෝජනා ක්‍රම 02ක් ඉදි කිරීම.
ඒ අනුව, ඉහත උප ව්‍යාපෘති ඇතුළත් කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.