• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී ‍අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම
දේශ සීමා ඉක්මවා සිදු කෙරෙන අපරාධ මැඬ පැවැත්වීම හා අපරාධ වැළැක්වීම ශක්තිමත් කිරීම, අපරාධ විමර්ශනය කිරීම සහ අපරාධවලින් ඉපැයූ මුදල් රාජසන්තක කිරීම ආදි කටයුතු සඳහා විධිවිධාන සැලසීම 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත මඟින් සිදු කෙරේ. මුදල් විශුද්ධිකරණය පිළිබඳ වරද හඳුනාගැනීම, අල්ලසට හා දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 16 වන ව්‍යවස්ථාව මඟින් දක්වනු ලැබ ඇති අල්ලස් ගැනීමට අදාළ වැරදි අපරාධ වැරදි වශයෙන් දැක්වීමේ අවශ්‍යතාව, පරිගණක පද්ධති සහ දත්ත පිළිබඳ අපරාධ වැරදි ආදී මෙම ක්ෂේත්‍රයට අදාළ මෑතකාලීන සංවර්ධනීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.