• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' ක්‍රියාත්මක කිරීම
කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති මූල්‍යාධාර උපයෝගි කරගනිමින්, දැනටමත් ක්‍රියාත්මක කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පහත කොන්දේසි සපුරන කාන්තා ව්‍යවසායකයින් සඳහා මේ යටතේ ණය ලබා දීමටත්, ලබාගනු ලබන ණය මුදලින් සියයට 20 - 30ත් අතර ප්‍රමාණයක් ආපසු ගෙවීම අවශ්‍ය නොවන අධාරයක් වශයෙන් ලබා දීමටත් ‍නියමිතය.

I. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම හා අදාළ ව්‍යාපාරික ආයතනයේ අයිතියෙන් සියයට 51ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සතු වීම. හෝ
II. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම සහ පහත කොන්දේසි තුන (03) සම්පූර්ණ කිරීම.
- අවම වශයෙන් ආයතනයේ අයිතියෙන් සියයට 20ක් කාන්තාවන් සතු වීම.
- අදාළ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කාන්තාවක් වීම.
- පාලක සභා (Director Boards) පවතින ආයතනවල, එම පාලක සභාවේ කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 30ක් වීම.

ඒ අනුව, ඌව, සබරගමුව, උතුර හා නැ‍ඟෙනහිර යන ඌන සංවර්ධිත ප්‍රදේශ වෙත ප්‍රමුඛතාවක් ලබා දෙමින්, මූල්‍ය ආයතන 10 හරහා මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.