• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ආයෝජකයින් සමඟ බද්ධ ව්‍යාපාර පිහිටුවීම
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නඟා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වේ. එබැවින්, උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. මෙම බද්ධ ව්‍යාපාර සඳහා ඇතුළත් වීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට නීතිමය අවසරය ලබා දීමේ අරමුණින්, 1987 07 04 දිනැති අංක 456/21 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ නිකුත් කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.