• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදර්ශ ගම්මාන ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම
නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ, පදිංචියට තමාගේම නිවසක් නොමැති සහ නිවසක් තනාගැනීමට සුදුසු ඉඩම් කොටසක් නොමැති අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත රජයෙන් ඉඩමක් සහ නිවසක් තනාගැනීම සඳහා රුපියල් පන් ලක්ෂයක උපරිමයක් දක්වා ණය පහසුකම් සැලසීම සිදු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ 2015 වර්ෂයේ සිට මේ දක්වා ආදර්ශ ගම්මාන 596ක වැඩ ආරම්භ කර ඇති අතර, ඉන් ආදාර්ශ ගම්මාන 54ක් මේ වන විටත් ප්‍රතිලාභීන්ගේ අයිතියට පත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රජාව තිරසර ලෙස නඟා සිටුවීමේදී නිවාස සැපයීමට අමතරව ඔවුන්ගේ ජීවනෝපාය ඇතුළු ආදායම් මාර්ග නඟා සිටුවීමද අත්‍යවශ්‍ය වේ. එබැවින්, ගෙවතු වගාව, සුළු පරිමාණ සත්ත්ව පාලනය, ගෘහ කර්මාන්ත හා ස්වයං රැකියා ආදි ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන් එම ආදර්ශ ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.