• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ගිවිසුමක් අත්සන් කිරීම
පාකිස්තානයේ කෘෂිකර්ම පර්යේෂණ ආයතන 3ක් හා ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය අතර 2010 වර්ෂයේදී ඇති කර ගන්නා ලද සහයෝගිතාවක් යටතේ නවීන අභිජනන ක්‍රම භාවිතයෙන් උක් ශාකය වැඩිදියුණු කිරීම සඳහා දෙරට අතර වාණිජ උක් ප්‍රභේද හුවමාරු කරගැනීම හා ශ්‍රී ලංකාවේ තරුණ කෘෂි විද්‍යාඥයින් පුහුණු කිරීම සිදු කරනු ලැබ තිබේ.

එහි සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, මෙරට උක් පර්යේෂණ ආයතනය සහ පාකිස්තානයේ ෆයිසලාබාද්හි උක් පර්යේෂණ සංවර්ධන මණ්ඩලය හා එහි උක් පර්යේෂණ ආයතනය අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. මේ යටතේ නව උක් ප්‍රභේද ශ්‍රී ලංකාවට ලබා ගැනීමටත්, පාකිස්තානයේ කෘෂි විද්‍යාඥයින් සමඟ ඒකාබද්ධ පර්යේෂණවල නියැළීමටත් අවස්ථාව සැලසේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අදාළ ආයතන අතර අත්සන් තැබීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.