• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂ අධ්‍යයන විද්‍යාව පිළිබඳ ආයතනයේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂ අධ්‍යයන විද්‍යාව පිළිබඳ ආයතනය (Institute of Forensic Medicine and Toxicology - IFMT) මරණ පරීක්ෂණ පැවැත්වීමේදී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි. එම ආයතනයේ ක්‍රියාකාරකම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් මෘත ශරීරාගාර ආශ්‍රිත කාර්යයන් ප්‍රමිතිගත කිරීම, කේන්ද්‍රගත කිරීම හා වෛද්‍ය නොවන කාර්යය මණ්ඩලය පුහුණු කිරීම තුළින් මෘත ශරීරාගාර මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) සමඟ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ති‍බේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික රතු කුරුස කමිටුව සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුම් ලිපියක් අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.