• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය
නිදහස් සෞඛ්‍ය සේවය හේතුවෙන් මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවන්හි සහ බෝවන රෝග කළමනාකරණයෙහි සාර්ථකත්වයක් අත් කරගනු ලැබ ‍ඇතත්, වියපත් ජනගහණය වර්ධනය වීම, වැරදි ආහාර හා සෞඛ්‍ය පුරුදු නිසා ඇතිවන බෝ නොවන රෝගවල වර්ධනය ආදි අභියෝගයන්ට තවදුරටත් මුහුණ දිය යුතුව තිබේ. බෝ නොවන රෝගවලට අමතරව ඩෙංගු, ක්ෂය රෝගය හා එච්.අයි.වී/ඒඩ්ස් වැනි බෝවන රෝග සඳහාද ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ මට්ටමේදී වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රාථමික මට්ටමේ සෞඛ්‍යාරක්ෂණ සේවා පහසුකම් සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර, ඒ සඳහා‍ සකස් කරන ලද 'සාර්ව සෞඛ්‍ය රැකවරණයක් අරමුණු කර ගත් සෞඛ්‍ය සත්කාර සැපයීමේ ප්‍රතිපත්තිය' ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ මෙරට ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය තුළ ඇති අඩුපාඩු හඳුනා ගනිමින්, පරිපූර්ණ, ගුණාත්මක සෞඛ්‍ය සත්කාරක සේවාවක් සැපයීමට හැකි වන සේ ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ලෝක බැංකුව විසින් සහනදායි කොන්දේසි යටතේ ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් භාවිත කරමින්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.