• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන සඳහා අරමුදල් සලසා ගැනීම
නව තාක්ෂණයන්ට සහ නිපුණතාවන් සඳහා වන වෙනස්වෙමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි මෙරට ශ්‍රම බලකාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. එබැවින් වෘත්තීය නිපුණතාවන් ලබා දීම ඉලක්ක කරගනිමින් මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් පසුගිය කාලසීමාව තුළ රජය විසින් සිදු කරනු ලැබ තිබේ. මේ යටතේ 2013 වසරේ සිට අ.පො.ස. (උසස් පෙළ) සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙනු ලැබ ඇති අතර, එහි ප්‍රායෝගික ඉගැන්වීම් සඳහා නවීන යටිතල පහසුකම් හා උපකරණ ලබා දීමත්, ගුරුවරුන් පුහුණු කිරීමත් සිදු කළ යුතු වේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60.7ක පිරිවැයක් යටතේ යෝජනා තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබා දීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) එකඟ වී ඇති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 10.7ක ඉතිරි මුදල රජය විසින් දරනු ලැබේ. ඒ අනුව, එම ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ලබාගැනීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.