• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු පාසල් වැඩිදියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් ලබාගැනීම
වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් 843ක් පිහිටුවා තිබේ. මුලින් මෙම පාසල් සඳහාම වෙන් වූ නිශ්චිත භූමි ප්‍රමාණයක් නොවූවද, සෑම වතු පාසලක් සඳහාම අක්කර 2ක භූමි ප්‍රමාණයක් වෙන් කර දීමට රජය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹිණි. පසු කලෙක රජය සතුව පැවති වතු, පෞද්ගලික සමාගම් වෙත බදු පදනම මත නැවත ලබා දෙනු ලැබ ඇති බැවින්, වතු පාසල් සඳහා වෙන් කරන ලද උපරිම අක්කර 2 ක ප්‍රමාණය, එම පාසල්වල සංවර්ධන කටයුතු සඳහා අදාළ වතු සමාගම් වෙතින් වෙන් කරගත යුතු වේ.

ඒ අනුව, දිස්ත්‍රික්ක 07ක පිහිටි, දැනට සීමිත භුමි ප්‍රමාණයක පවත්වාගෙන යනු ලබන වතු පාසල් 354ක් සඳහා අක්කර 02ක උපරිමයක් දක්වා අදාළ වතු සමාගම් වෙතින් ඉඩම් පවරා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා; රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා; සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.