• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත පැනවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ. 2009 වසරට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා වෙනත් රාජ්‍ය ආයතන විසින් ඉදි කරනු ලැබූ සහාධිපත්‍ය දේපළවල අයිතිය ඒවායේ පදිංචිකරුවන් වෙත පැවරීමට බාධාවක්ව පවතින වත්මන් බද්ධ නිවාස අයිතිකම් පනතේ පවතින විධිවිධාන සඳහා පිළියම් යෙදීම මෙමඟින් අපේක්ෂා කෙරේ. එමෙන්ම රජයට අයත් සහාධිපත්‍ය දේපළවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් විධිවිධාන යෙදීමටද මෙමඟින් කටයුතු කෙරේ.

ඒ අනුව, බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.